එන්න අප හා එක්වන්න

FIGHTING FOR A WORLD REVOLUTIONARY PARTY !!
FORWARD TO THE WORLD REVOLUTION !!!
FORWARD TO THE SOCIALISM IN SRI LANKA !!!

Sunday, October 24, 2010

සෞඛ්‍ය සේවයේ සුළු සේවා පාලක නිළධාරීන්ට ශක්තිමත් සමිතියක් අවශ්‍ය වන්නේ ඇයි ?

රජයේ රෝහලක වෛද්‍යවරුන් හෙදියන් හැරැණු විට ඉතාම වගකිවයුතු රාජකාරි වැඩ කොටසක් ඉටු කරන්නේ කනිශ්ඨ කාර්ය මණ්ඩලයයි. කනිශ්ඨ කාර්ය මණ්ඩලය සංඛ්‍යාත්මකව වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට වඩා වැඩිය. වෛද්‍යවරුන්ට හෙදියන්ට සේවය සඳහා සහයක සේවාව සපයන්නේ කනිශ්ඨ කාර්ය මණ්ඩලයයි.


රෝහලක දෛනික වැඩ කටයුතුවල දී කනිශ්ඨ කාර්ය මණ්ඩලය විසින් සපයන දෛනික සේවාව අඬාල වුවහොත් රෝහලක සේවා කටයුතු පවත්වා ගත නොහැක.

සනීපාරක්ෂාව, ගොඩනැගිලි සහ උපකරණ නඩත්තුව, ඔක්සිජන් සැපයීම වැනි කටයුතු රෝහලක අත්‍යාවශ්‍ය සහායක සේවාවල වගකීමයි.කනිශ්ඨ කාර්ය මණ්ඩල මෙහෙයවා මෙම රාජකාරි කටයුතු සාර්ථකව සිදුකළ යුත්තේ සුළු සේවා පාලක නිළධාරීන් විසිනි.

ඒ අනුව සුළු සේවා පාලක තනතුරට රජයේ රෝහලක සැළකිය යුතු වහකීම් රාශියක් පැවරී තිබේ. මෙවැනි අධීක්ෂණ මට්ටමක ඇති තනතුරක් තවමත් පවතින්නේ ප්‍රාථමික මට්ටමකය.

රෝහල් සුළු සේවා පාලක නිළධාරීන් වශයෙන් පවතින තනතුරට සාපේක්ෂව පැවති ඇතැම් තනතුරු අද මේ වන විට මධ්‍ය මට්ටමේ කාර්මික සේවා ගණයට ඇතුලත් වී ඇත. නිල නාමය හා වැටුප් ක්‍රම වෙනස් කරගෙන අද අයිතිවාසිකම් භුක්ති විඳින තත්වයක් තිබෙනවා. එහෙත් සුළු සේවා පාලක තනතුර පවතින්නේ ආරම්භක අවධියේ පැවති වැටුප් හා සේවා තත්වයෙනි.

මේ තත්වයට හේතු වී තිබෙන්නේ රජයේ රෝහල්වල සුළු සේවා පාලක නිලධාරීන් තිරසාර වැඩ පිළිවෙලක් අනුගමනය නොකිරීමයි.

අපි සුළු සේවා නිලධාරීන් ලෙස දේශපාලනික හා වෘත්තීය සමිති මතිමතාන්තර තිබුණත් අතලොස්සක් වැනි නිළධාරීන් පිරිසක් නිසා එක ධජයක් ලෙස සංවිධානය ඉතා වැදගත්ය.

ආයතනයක නිළධාරීන් සංඛ්‍යාව සුළු පිරිසක් හෙයින් ජාතික මට්ටමේ ශක්තිමත් සමිතියක් ගොඩගැනීම අපහසු නොවේ.

ඒ නිසා සෞඛ්‍ය සුළු සේවා සංගමයේ අනාගත බලාපොරොත්තුව වන්නේ යළි නොබිඳෙන ශක්තිමත් සංවිධාන වැඩපිළිවෙලක් සහිතව දිවයිනේ සියළුම සෞඛ්‍ය සුළු සේවා පාලක නිළධාරීන් සංවිධානය කර ස්වකීය අයිතීන් දිනා ගැනීම සඳහා සංවිධානය කිරීමයි.

අපේ ප්‍රධාන ඉලක්කය වන්නේ තනතුරු නාමය සහ වැටුප් ක්‍රමය ඉහල දමා ගැනීමයි. ඊට අමතරව දැනට නිකුත් කරනු ලබන නිළ ඇඳුම් කට්ටල ප්‍රමාණයට විකල්පව වර්තමානයට ගැලපෙන නිළ ඇඳුම් කට්ටල ලබාගැනීම සහ ස්ථානගතව ඇතැම් ඉහල නිළධාරීන්ගෙන් සුළුසේවා පාලක නිළධාරීන්ට මුහුණ දීමට සිදුවී තිබෙන දුක් ගැහැට විසඳමින් ක්‍රියා කිරීමට අප තීන්දු කර ඇත.

සෞඛ්‍ය සුළු සේවා පාලක නිළධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කේ. එම්. ඩී. හේරත් සහෝදරයා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙනි.

No comments:

Post a Comment